Destroying Horcruxes

හෝක්‍රක්ස් සම්බන්ද මගේ තුන්වෙනි ලිපිය 

හෝක්‍රක්ස් එකක් විනාශ කරන ආකාරය 

හෝක්‍රක්ස් එකක් විනාශ කරන්න නම් ආත්ම කොටස තැන්පත් කරලා තිබෙන බහාලුම හෞතික වශයෙන් හෝ මායාමය වශයෙන් නැවත සැදිය නොහැකි වන පරිදි විනාශ  කල යුතුයි.හෝක්‍රක්ස් එකක් ඒ මට්ටමටම විනාශ කල පසු ඇතැම් විට රුදිරය වැනි තද රතු පැහති ද්‍රව්‍යයක් බහාලුම තුලින් පිටතට නිකුත් විය හැකියි.ටොම් රිඩල් ගේ ඩයරිය විනාශ කරන විටත් මෙවැනි තද රතු  පැහති ද්‍රව්‍යයක් පිටවුණා හැමෝටම මතක ඇති.ඒ වගේම සමහරවිට ආත්ම කොටස විනාශ වෙන අවස්තාවේදී වේදී අදෝනාවකුත් බහාලුම තුලින් ඇසෙන්නට පුළුවන්.කොහොම නමුත් හෝක්‍රක්ස් එකක් විනාශ කරන එක ඒ තරම් සරල නෑ.හෝක්‍රක්ස් එකක් විනාශ වීම වලක්වන්න එහි නිර්මාණකරු විසින් කරන්න පුළුවන් හැමදේම කරනවා.මන්තර,වශී,ශාප වගේ නොයෙකුත් ක්‍රම පාවිච්චි කරලා හෝක්‍රක්ස් එකේ ආරක්ශාව තහවුරු කරනු ලබනවා.

හෝක්‍රක්ස් එකක් විනාශ කරන්න නම් එය නැවත කිසිදු අයුරකින් සෑදිය නොහැකි වන ලෙස විනාශ කල යුතු බව අපි කතාවුණා.එහෙනම් හෝක්‍රක්ස් එක පණ තියෙන ජීවියෙක් වුනොත් මොකද වෙන්නේ.හෝක්‍රක්ස් එක පණ තියෙන ජීවියෙක් නම් හෝක්‍රක්ස් එක විනාශ කිරීමට නම් අදාල ජීවියාව මරා දැමීම අනිවාර්ය යයි.

හෝක්‍රක්ස් එකක් විනාශ කල හැකි ක්‍රම කීපයක් තිබෙනවා.Fiendfyre,මරණයේ ශාපය,බැසිලිස්ක් විශ,අසීමිත ආදරයක ශක්තිය(වියාජ හොක්‍රොක්ස් සදහා)

හෝක්‍රක්ස් විනාශ කරන පලවෙනි ක්‍රමය තමයි Fiendfyre කියන්නේ.මොකද්ද මේ fiendfyre කියන්නේ.Fiendfyre කියන්නේ ශාපලත් ගින්දර වලට.මේක ගොඩක් සන්කීර්ණ අදුරු  මායාවක්.මේ ගින්දර එදිනෙදා හමුවෙන ගින්දර වගේ සාමාන්‍ය වතුරෙන් වත් මායා වතුරෙන් වත් නිවාදමන්න හැකියාවක් නැහැ.මේ ගින්දර විශාල රොද්‍ර සත්වයන්ගේ ස්වරූප අරගන්නවා.හරියට විශාල සර්පයෙක්,මකරෙක් ගොදුරු සොයා යන ජාතියේ කුරුල්ලෙක් වගේ ස්වරූප.මෙම ගින්දරට තමන්ට හමුවන මාර්ගයේ ඇති ඔනෑම වස්තුවක් මුලුමනින්ම විනාශ කරලා දැමීමේ හැකියාව තියනවා.හෝක්‍රක්ස් විනාශ කරන්න මේ ගින්දරම යොදාගන්න එක විශේෂ හේතුවක් තියනවා.මේ ගින්දර ඇතිකරන්න පහසු වුනාට පාලනය කරන්න ඉතාමත් අමාරුයි.සෑහෙන දක්ශ මායාකාරයෙකුට වුනත් මේ ගින්දර පාලනය කරන්න බැරිවෙන්න පුළුවන්.ඒ කියන්නේ බහුතරයකට මේ ගින්දර ඇතිකරන්න පුලුවන් වුනාට නවත්තන්න හැකියාවක්   නැහැ.හෝක්‍රක්ස් එකක් මේ ගින්දරට අහුවුනොත් බලන් ඉන්නවා ඇර ගොඩ දෙනෙක්ට වෙන කරන්න දෙයක් නැහැ.වොල්ඩමොර්ට් ගේ හෝක්‍රක්ස් එකක් වුන Ravenclaw හිස්පලදනාව විනාශ වුණේ Crabbe විසින් ඇතිකරපු ශාප ලත් ගින්දර නැත්තන් fiendfyre නිසා තමයි.

දෙවෙනි ක්‍රමය තමයි මරණයේ ශාපය.මේ ක්‍රමය මගින් විනාශ කරන්න පුළුවන් ජිවී හෝක්‍රක්ස් විතරයි.ඒ වගේම හැම ජීවී හෝක්‍රක්ස් එකක්ම මරණයේ ශාපයෙන් විනාශ කරන්න පුළුවන් කමක් නැහැ.හිතාමතා සැලසුමක් ඇතුව සාදන ලද ජීවී හෝක්‍රක්ස් මරණයේ ශාපයෙන් විනාශ කල නොහැකියි.හරියට වොල්ඩමොර්ට් ගේ නයා නාගිනී වගේ.ඒත් හිතාමතා හැදුව නැති ජිවී හෝක්‍රක්ස් මරණයේ ශාපයෙන් විනාශ කරන්න පුළුවන්.හැරී පොටර් ගේ ඇතුලේ තිබුන වොල්ඩමොර්ට් ගේ ආත්ම කොටස මරණයේ ශාපයෙන් විනාශ කරන්න පුළුවන් වුනා.ඒ හැරී පොටර් වොල්ඩමොර්ට් විසින් හිතාමතා සාදන ලද හෝක්‍රක්ස් එකක් නොවෙන හින්දා.

තුන්වන ක්‍රමය තමයි.බැසිලිස්ක් විශ.බැසිලිස්ක් විශ මගින් හෝක්‍රක්ස් එකක් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන්.ටොම් රිඩල් ගේ ඩයරිය ඒ වගේම හෙල්ගා හෆල්පෆ් ගේ කුසලානය කියන හෝක්‍රක්ස් විනාශ කරන්න ගත්තේ බැසිලිස්ක් විශ තැවරුණු දත්.සලසාර් ස්ලිදරින් ගේ ලොකට් එක,මාර්වලෝ ගෝන්ට් ගේ මුද්ද,නාගිනී ව විනාශ කරන්න පුළුවන් වුනේ ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝර් ගේ කඩුවේ තැවරිලා තිබුන බැසිලිස්ක් විශ නිසා.දැන් ප්‍රශ්නයක් එනවනේ ග්‍රිෆින්ඩෝර් කඩුවේ බැසිලිස්ක් විශ එච්චර කාලයක් රැදිලා තිබ්බෙ කොහොමද කියලා ඒකටත් උත්තර මෙහෙම්මම දීගෙන යන්නම්.ග්‍රිෆින්ඩෝර් කඩුව හදලා තියෙන්නේ ගොබ්ලින් රිදී වලින්.ගොබ්ලින් රිදී වල විශෙෂත්වයක් තියනවා.තමන්ගේ ශක්තිය වැඩිකරගන්න අවස්ථාවක් ලැබුනොත් ඒ අවස්ථාව මග හැරගන්නේ නැහැ.ගොබ්ලින් රිදී එවන් ශක්තිය වැඩිකරගත හැකි ද්‍රව්‍යයක් සමග ගැටුනොත් එම ද්‍රව්‍යය අවශෝෂණය කර ගන්නවා.බැසිලිස්ක් විශත් එවැනි ද්‍රව්‍යයක්.බැසිලිස්ක් විශ  අවශෝෂණය කරගත් පසු ගොබ්ලින් රිදී වලින් හදලා තියෙන ග්‍රිෆින්ඩෝර් කඩුව මාරාන්තික කඩුවක් බවට පත් වෙනවා.ඉතින් ග්‍රිෆින්ඩෝර් කඩුව බැසිලිස්ක් විශේ ගැටුණු ගමන් කඩුව බැසිලිස්ක් විශ අවශෝෂණය කරගනු ලැබුවා.

ජීවී හෝක්‍රක්ස් එකක් බැසිලිස්ක් විශ වලින් බේරගන්න එක මාර්ගයක් තියෙනවා.ඒ තමයි ෆීනික්ස් කුරුල්ලෙකුගේ කදුලු.හැරී රහස් කුටියේ බැසිලිස්ක් ගේ ප්‍රරහාරයට ලක් වුනාට පස්සේ ජීවිතය බෙරගත්තෙත් ෆීනික්ස් කදුලු නිසා.ෆීනික්ස් කදුලු කියන්නේ ගොඩක් දුර්ලභ ද්‍රව්‍යයක්.ෆීනික්ස් කදුලු වලට බැසිලිස්ක් විශ නැසීමේ හැකියාවක් තියනවා.ජීවී හෝක්‍රක්ස් එකක් බැසිලිස්ක් විශ වලට නිරාවරණය වෙලා කෙටි කාලයක් ඇතුලත ෆීනික්ස් කදුලු තුවාලය මත ගැල්විය හැකිනම් එම ජිවී හෝක්‍රක්ස් එක බේරගන්න පුළුවන්.ප්‍රමාද වෙලා ෆීනික්ස් කදුලු ගැල්වූවා කියල වැඩක් වෙන්නේ නැහැ.හැකි තරම් ඉක්මනින් ෆීනික්ස් කදුලු ලබා දිය යුතුයි.

හතරවන ක්‍රමය අසීමාන්තික ආදරයක් හෝක්‍රක්ස් එක ස්පර්ශ කිරීම.මේ ක්‍රමයෙන් විනාශ කරන්න පුළුවන් වියාජ හෝක්‍රක්ස් විතරයි.වියාජ හෝක්‍රක්ස් එකක් හෝක්‍රක්ස් එකක් වගේ හැසිරුණාට මේක ඇත්තම හෝක්‍රක්ස් එකක් නෙමෙයි.උදාහරණය තමයි මහචාර්ය කුවිරල්.වොල්ඩමොර්ට් ගේ ආත්මය ඔහු තුල ජීවත් වුනා.හැරී තුල ලිලී ගේ අසීමාන්තික ආදරය ගැබ් වෙලා තිබුනා.හැරී ගේ ස්පර්ශ ය කුවිරල් ගේ ඇගේ වැදුණු ගමන් කුවිරල් අළු වෙලා විනාශ වුනා.ඒත් කුවිරල් ගේ ඇග ඇතුලේ තිබුන වොල්ඩමොර්ට් ගේ ආත්මය විනාශ වුනේ නැහැ.මේ වගේ එකකට අපි කියනවා වියාජ හෝක්‍රක්ස් එකක් කියලා.

හෝක්‍රක්ස් එකක් විනාශ කරන්නේ කොහොමද කියල අපි කතාකරා.හෝක්‍රක්ස් ගැන තව විස්තර එක්ක ඊලඟ ලිපියෙන් හමුවෙමු

හොග්වර්ට්ස් ලේඛ්ක මණ්ඩලය වෙනුවෙන් සටහන -ඇල්බස් ඩම්බල්ඩෝර්

Comments